Tuesday, April 28, 2009

ජාතිවාදය,ජාත්‍යාලය හා මම

මේ කෙනෙක් ඇසු ප්‍රශ්නයක්

මට ඉස්සර ඉඳලම තිබුනු ප්‍රශ්නයක් තමා සිංහලයා තමන්ගෙ ජාතිය ගැන කතා කිරීම.ජාතියට සැලකීම ජාතිවාදය වීමත්, දෙමල සහ මුස්ලිම් මිනිස්සු මහ ඉහලින් තමාගේ ජාතියට සැලකීම ජාතිවාදය නොවෙන්නත් හේතුව මොකද්ද කියන එක. මුස්ලිම් ප්‍රජාව අනෙකුත් ජාතීන් සහ ආගම් ඉවසන්නෙ නැති බව රහසක් නෙමෙයි. හුඟක් ද්‍රවිඩයන්ට සහ මුසල්මානුවන්ට අයිති ව්‍යාපාර ස්ථානවලට සිංහල අයව බඳව ගන්නෙ නැහැ. පැහැදිලි කරල දෙන්න එතකොට මේ 'ජාතිවාදය' නෙමෙයිද?


ප්‍රශ්නයට මා ලබා දෙන පිළිතුර.


මම ජාතිය ගැන කතා කිරිම හා ජාතියට සැලකිම කිසිසේත්ම වරදක් විදිහට සලකන්නේ නැහැ.ලිපිය හරියටම කියෙව්වනම් මමත් ජාතිය ගැන එක අවස්ථාවක කතා කරලා තියෙනවා.කෙසේ වෙතත් මම කලින් ලිපියේ කියලා තියෙන්නේ ජාතිකත්වය ඇද ගැනිමක් ගැන.


"මු දෙමලෙක් ,ඒ නිසා මම මූත් එක්ක කතා කරන්නේ නැහැ"
මේ ප්‍රකාශය ජාතිකත්වය ඇද ගෙන කියු දෙයක් වේ.


"දෙමළුන් කියන්නේ මහා ජරාම ජාතියක් ,උන්ව තියන්න හොද නැහැ මරලම දාන්න ඕනි."

මේ ප්‍රකාශය ජාතිවාදි ප්‍රකාශයක් වේ

  1. ජාතිවාදය කියන්නේ යම් යම් ජාතින් අතර අසමගිය ඇති කිරිමක් වේ.
  2. දේශානුරාගය යනු තම දේශය කෙරෙහි පවතින කැමැත්තයි.
  3. ජාත්‍යාලය යනු තම ජාතියට ඇති බැදිම හා කැමැත්ත.
  4. ජාතිමමත්වට යනු තම ජාතිය අන් ජාතීන්ට වඩා උසස් බව සිතිමයි.

nationalism යන වචනයට සිංහල තේරුම දි ඇති විට ඉහත කරණු හතරම ඇතුලත් කර තිබේ.නමුත් සිංහල තේරුම අනුව මේවා සම්පුර්ණයෙන් එකිනෙකට වෙනස් වු කරුණු හතරකි.අඩුම තරමේ දේශානුරාගය සහා ජාත්‍යාලයවත් සුළු වශයෙන් වත් සමාන නොවේ.


ඒ ගැන උදාහරණයක් දුන්නොත් එකම ජාතියක් රටවල් දෙකක හිටියොත් හා ඒ රටවල් එකිනෙකා සටන් කරතොත් එයට හේතුව ලෙස කෙසෙවත්
ජාත්‍යාලය ගත නොහැකි අතර දේශානුරාගය තරමක් දුරට සලකා බැලිය හැකියි.


ඉහත් කරුණු හතරෙන් දේශානුරාගය හා ජාත්‍යාලය තුල කිසිදු වරදක් මම දකින්නේ නැහැ.හේතුව එමගින් බලෙන් කාහටවත් වරදක් කරන්න සිදුනොවන නිසා.ජාතිමමත්වට මා 50% කැමති.එයට හේතුව තම ජාතිය ගැන තමන් ආඩම්බර විය යුතුයි.50% අකමැති වන්නේ , එය වැඩි උවහොත් අන් ජාතින්ට කරදර කරන්නට තමා තුලින්ම මානසික බලපැමක් ඇති වන නිසා.


ජාතිවාදයට මා සම්පුර්ණයෙන්ම එකඟනොවේ.


බොහෝ මුස්ලිම් ප්‍රජාව අනෙකුත් ජාතීන් සහ ආගම් ඉවසන්නෙ නැති බව ඔවුන්ගේ සමහර ක්‍රියාවන් නිසා සිතාගත හැකියි.එසෙම කලින් ලිපියේ පරිදි මුස්ලිම් ප්‍රජාව වුවත් කරන්නේ තම පැවත්ම ලොව තුල ස්ථිර කර ගැනිමට උත්සහා කිරිමයි.ඒ තුලදි ඔවුත් ජාතිවාදයත් යම් තරමකට පාවිච්චි කරනු ලබයි.එහිදි ඔවුන් කරන ක්‍රියාවන් මත අප ජාතියට හානියක් වන්නේනම් ජාත්‍යාලය නිසා එය ඔවුන්ට වරදක් කරන බව තෙරුම් කර දිය යුතුයි.නැත්නම් එයට එරෙහිව සමස්තයක් වශයෙන් ගත් කල වැරදි නොවන යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි.හැබැයි ජාත්‍යාලය මත ක්‍රියාකර එයට අදාල කරුණු වලින් ජය ගත් පසු එය අවසන් කල යුතුයි.නැතුව ඉන් පසු අනිත් ජාතිය මැඩ පැවත්විමට උත්සහා ‍කරන්නේ නම් එවිට අපි වරද කරන පිරිස වේ.



ඒ වගේම මුස්ලිම් ප්‍රජාව තුලත් අන් ජාතින්ට ගරු කරන පුද්ගලයන් සිටි.උදාහරණයක් ලෙස එක්තරා ශ්‍රිලාංකිය ජාල අඩවියක පැවැත්වු සිංහල දිනයකට මුල් පියවර තැබුවේ මම දන්නා විදිහට මුස්ලිම් තරුණයෙක්.


මුස්ලිම් හා ‍දමිල ව්‍යාපාර ස්ථානයන්ට සිංහලයක් නොගැනිමට හේතු කිහිපයක් පවති.


  • කලයකට පෙර එක් අවස්ථාවක සිංහලයන් සුළු ජාතින්ව තනි කරනු ලැබු නිසා තවමත් ඔවුත් සිංහලයන් ගැන වෛරයෙන් පසු වීම.
  • ඒ කාලයේ සිටම අන්‍යජාතික ව්‍යාපාර ස්ථානයන්ගේ සේවය කල සිංහලයන් නිවරදිව වැඩ නොකිරිම හා ලද හැකි අවස්ථාවන් වලදී ඒ ස්ථාන වලින් හොරකම් කිරිම.ඒ නිසා සුළුජාතින් තාමත් සිංහලයන්ව විශ්වාස නොකිරිම.
  • ඔවුන්ගේ ව්‍යාපර ස්ථානයන්ට වැඩිපුරම පැමිණෙන්නේ සුළු ජාතින් විම නිසා ඒ සුළු ජාතින් අනුව සිංහලයන්ට හොද පරිභොගික සේවයක් ලබා දිමට නොහැකි විම.හේතු අවශ්‍ය වන්නේ නැහැනේ ඒ සම්බන්දව.
  • ජාතිවාදය කෙසේ වෙතත් ජාතිමමත්වයක් ඇති කර ගැනිමට ඔවුන් උත්සහා කිරිම.


අවසාන කරුණ නම් වැරදි බව පිළිගන්නා අතර අනිත් කරුණු අප විසින්ම ඇති කර ගන් ඒවා වේ.සිංහලයන් ගැන ඇති මතය ඔවුන්ට වෙනස් කරගන්න කියනවාට වඩා අපි එලෙස නොවන බව පෙන්වා දිය යුතුයි.ඔවුන් තුල ක්‍රමයෙන් අප පිළිබද විශ්වාසයක් ඇති කල යුතුයි.සතුටට කරුණ මේ වන විට එය තරමක් දුරට ක්‍රියත්මක වෙමින් පවති.



අන් පුද්ගලයන්ගේ වැරදි කියනවාට වඩා අපි විසින් කල යුත්තේ අප හට ඇති අනතුර හා තර්ජන හදුනාගෙන ඒවා අප මත ක්‍රියාකිරිමට හේතු වන අපගේ දුර්වල කම් නැති කරගැනිමයි.එහිදි හොදම විසදුමට වඩා හොදම හා නිවරදිම විසදුම ගැනිම කලයුතුයි.මොකද හොදම විසදුමේ සමහර විට වැරදි අවස්ථා පැවතිය හැකි නිසා.එවිට අපි හට නවීන ලොකයේ ජාතියක් විදිහට තව දිර්ඝ කාලයක් පැවතිය හැකිවේවි.


ලබා දුන් පිළිතුර නිවරදිමදැයි නොදනිමි.වරදක් ඇත්නම් පෙන්වා දෙන ලෙස ප්‍රශ්නය ඇසු කෙනාගෙන් සේම අනිත් අයගෙනුත් ඉල්ලා සිටිමි.





Monday, April 27, 2009

දේශප්‍රේමිත්වය,ජාතිකත්වය හා මම

පසුගිය ලිපියෙන් වැඩිය කතා නොකරේ මේ ගැන වෙනමම කිව යුතුයි මා සිතු නිසායි.මේ මම දැක්ක දේශප්‍රේමින් යයි සිතා ගන්න පිරිසක් විසින් කරන තව දෙයක් ගැන.

ඒ තමයි බොහො විට ප්‍රධාන සුළු ජාතින් දෙකට ,ඔවුන් ලංකාව පුරා පැතිරෙනවා යයි බැනීම.තව ඔවුන්ට පරිභව කිරිම.සරලවම කියනවානම් ජාතිකත්වය ඇද ගැනිම.උදාහරණ කියන්න යන්න අදහසක් නැහැ.හිතට එකඟව හිතන්න ඔබ එසේ කර නැද්ද හෝ අසා නැද්ද කියා.

හැබැයි විශේෂම දේ ප්‍රධාන ජාතිය එකට එකතු වු ජාතියන් ලෙස ක්‍රියා කරන විට( උදා:-සුනාමිය) මෙය සම්පුර්ණයෙන් වගේ නැති වෙනවා.ඒත් තනි තනි කණ්ඩායන් වු විට මේ අදහස් ක්‍රමයෙන් නැගි හිටිනවා.

මේකත් තමන්ගේ වැරැද්ද වසා ගන්න අනුන්ට බනින අවස්ථාවක් විදිහටයි මම හිතන්නේ.

පිළිගන්නවා අද අර්ථික තත්වට අනුව වඩාත් පහසු පුංචි පවුල.නමුත් එතන මම දකින කණගාටුදායක කරුණ නම් එක් අම්මා කෙනෙකුටයි තාත්තා කෙනෙකුටයි එක දරුවෙක් කියන්නේ , එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට යන විට ජාතියේ සිටින පිරිස් සංඛ්‍යාව හරියටම අඩක් වීම.උදාහරණයක් කිව්වොත් 2000 කින් 1000 ක් 500 කින් 250 ලෙස පරම්පරාව සිඝ්‍රයෙන් අඩු වීම.

අපි බනින සුළු ජාතින්ගේ පවුලකට අඩුම තරමින් දරුවන් 3 දෙනෙක් වත් සිටියි.එහි බලපෑම උදාහරණයක් විදිහට ගතහොත් 1000 කින් 1500 ක් 2000 කින් 3000 ක් ලෙස විමයි.

එසේම ඔවුන් අර්ථික ගැටලු වලදි මුහුණ දිමද සැලකිය යුතු කරුණක් වේ.ඔවුන්ගේ අගමික ස්ථානයන්ගේ එක් විශේෂ නිතියක් වේ. පොසතා විසින් දුප්පතාට දුප්පත් කමින් මිදිමට උදව් කල යුතුයි(සහන පොලියට ණය දීම හෝ පොලියක් නැතිව දිම වැනි දැ).සමස්තයක් වශයෙන් මුදල් එක් කොට්ඨාශයක් අත නිෂ්චලව පවතිනවාට වඩා එය වඩාත් ක්‍රියා කාරි වෙයි.

ඇත්තටම මේ අයගේ එකම අරමුණ අනිත් සැම සත්ව වර්ගයකම ඇති අවශ්‍යතාවයක් වන තම වර්ගය බෝ කිරිමයි.එහි අපිට බැනිය හැකි කරුණක් විදිහට මට සලකන්න බැහැ.අපි ඔවුන් කරන දෙයින් සිතා ගත යුත්තේ අපි හට තරඟයක් ඔවුත් උදා කර ඇති බවයි.ස්භාවධර්මයේ නිතිය වන ප්‍රභලයා විසින් දුබලයාව ජය ගැනිම යන්න අපි හැමටම පොදුයි.එම නීතිය අනුවත් අද පවතින තත්වය අනුවත් අප හට වඩා වලංගුවන්නේ කතාවට වඩා ක්‍රියාවටයි.එනම් අපි දුබලයාද නැත්නම් ප්‍රබලායද යන්න නිවරදිවම තිරණය කරන්නේ අපගේම ක්‍රියාවන් වේ.

මම දන්න විදිහට එදා සිංහලයන් ජාතියක් හැටියට අන් ජාතින්ට ගරු කල ,විරුද්ධ වාදින්ව නිවරදිව හදුනාගන්නා කොට්ඨාෂයක් විය.දැනටත් එය ‍‍බොහො දුරට වලංගුයි.නමුත් එක වෙනසකට ඇත්තේ අද කතාවට බොහෝ විට මුලිකත්වය ලැබි ක්‍රියාව දෙවනි තැනට පත්වි තිබිමයි.

අවසාන වශයෙන් මේ ලිපියේ ඇති කරුණු වරදවා වටහා ගැනිමෙන් වලකින්න.මම ඔවුන් කරන දේ මනුෂ්‍යත්වයට අනුව වැරදි බව පිළිගනිමි.නමුත් ඔවුන් තවත් එක් සත්වකොට්ඨාශයක් නිසා නිකරුනේ ඒ දේට බැනිමට කාලය ගත නොකරමි.


(මා දැනගන්න කැමතියි කලින් සටහනේ rathutharuva ලෙස සිටින්නේ නියමම කෙනාද නැත්නම් ඒ නම භාවිතා කරන තවත් අයෙක්ද එහෙමත් නැත්නම් අලුත්ම කෙනෙක්ද කියා.නියමම කෙනානම් සමාවෙන්න අද ලොකේ හැටි නිසා මට මෙසේ අහන්න සිද්ද වුනා.)
‍‍

Friday, April 24, 2009

දේශප්‍රේමීත්වය , තනි මතය හා මම

පළමුවෙන්ම මම යම් අයෙකුට දුන්න පිළිතුරක් සංස්කරණය කිරිමෙන් පසු මම මේ ලඝු සටහනේ ලිපියක් විදිහට පල කරනවා.

අද කාලයේ සිටින බොහො දේශප්‍රේමීන් ගොඩ දෙනෙක් එක්ක මම කතා කරලා තියෙනවා ,අශ්‍රය කරලා තියෙනවා.මට තේරුන විදිහට ඒ ගොඩක් දෙනෙක් තුල එකම ගුණාංගයන් කිහිපයක් තිබෙනවා.

ඒවා නම්

  1. අන්‍ය අගමිකයන් බෞද්ධයන් අබෞද්ධයන් කරනවා කියමින් ඒ අන්‍ය අගමිකයන්ට පළු යන තෙක් බැනීම
  2. ඒ අන්‍ය ආගම්කයින් පිටුවහල් කිරිමට බොහො උත්සාහා කිරිම.
  3. දේශපාලනය ගැන තමා හොදට දන්නවායි සිතිම.
  4. එකම දේශපාලන පක්ෂයකට කත් අදිමින් අන් සියල්ලටම ගැරහිම.
  5. ලංකාවේ පැරණි සිංදු වලට බොහො විට කැමති විම හා නව කලයේ සිංදු වලට කැමති අය හා ඒවා ගායනට කරන්නන්ට පුළුවන්නම් පුසිද්ධියෙම ගැරහීම.
  6. තමා පමණක් දේශප්‍රේමීයා හෝ තම මතයට කැමති වන පුද්ගලයන් පමණක් දේශප්‍රෙ‍්මීන් විදිහට සැලකිම හා අන් මත දරන්නන්ට හැම විටම පහත් කර කතා කිරිම.
  7. සුළු ජාතින් සමග කතා කිරිමට බොහො අකමැති වීම හා අවශ්‍ය අවස්ථාවකදි වත් ඔවුන්ට උදව් නොකිරිම
  8. සුළු රැකියාවන් කරන හො දුප්පත් තත්වයේ සිටින(තමන්ගෙම ජාතියේ) පුද්ගලයන් දුටු විට ඉවත් විම ,ඔවුන් සමග කතා කිරිමට අකමැති වීම.
  9. බොහොම අවේගශිලි වීම.
  10. තම මතය පමණක් හරි යයි කියමින්,අන් අය(හෝ අන් දේශප්‍රේමීන්ව) ප්‍රකොප කරවන ලෙස අදහස් ඉදිරි පත් කිරිම.
අන්‍ය ආගමිකයින් ලෙස හැදින්වෙන යම් කොට්ඨාශයන් විසින් දුප්පත්,බොහො විට දැනුමෙන් අඩු හා තත්වයෙන් පහල සිටි අයට මුදල් හා තත්වයන් දී ,ඔවුන්ට ඒ අන්‍ය ධර්මය වැලද ගන්න යැයි කියති.මම නම් හිතන්නේ එහි කිසිදු වරදක් නැහැ.මොකද තමාගේ ජතියේ හා අගමේ අය තමන්ව පහලට දමා වැඩ කරන අතර තමුන්ට කිසිදු උපකාර‍යක්ද නොකරයිනම්,තව අනිත් අගමිකයෙක් මුදල්ද තත්වයද දී ,තමන්ට හානියක් නොකරන යැයි කියන ධර්මයක් පෙන්වා, කරන උපකාරයට එය වැළද ගන්න යැයි පැවසු විට ඔබ හො මම වුනත් කරන්නේ ඒ ආගම වැළද ගැනීමයි.

අන්‍යඅගමිකරණය නතර කිරිමට රට වටේට බෞද්ධයන් අබෞද්ධයන් කරනවා කිය කියා කෑ ගැසීමවත් එහෙමත් නැත්නම් ඒ අගම්කයින් පිටුවහල් කිරිමට දැඟලිමවත් කිසිදු ‍තෙරුමක් නැති වැඩ වේ.
කළ යුත්තේ අපේ බොහො දෙනෙක්(බොහො පන්සල්ද) කරන දැනට වඩා වැඩි අවශ්‍යතාවයක් නැති පුණ්න්‍යකර්මයන් වන ගවයන් බේරිම,බොධින්වහන්සේට රන් වැට වල් පුජා කිරිම වැනි දැ මදක් පසුවට කල් තබා අවට සිටින දුප්පතුන්ගේ සමාජ තත්වය ඉහල නැංවිමට උදව් කිරිමයි.නමුත් උදව් කරනවා කියා මාසයකට දෙකකට සරිලන මුදල් හා වෙනත් දේ දිම කිසිදු වැඩක් ඇති වැඩ නොවේ.අළුතින් යම් කර්මාන්තයක් ,සමාගමක් වැනි නව රැකියා අවස්ථාවයන් අරඹා එහි ඒ දුප්පතුන්ට වැඩ කිරිමට අවස්ථාව හා පුහුණුව ලබා දිමයි කල යුත්තේ.

ඉතින් මම කතා කරන දේශප්‍රේමින්ගෙන් සමහරක් තරමක් දුරට ඉගෙන ගෙන එදිනෙදා ගැට ගසා ගත හැකි රැකියාවක් සදහා යන අතර උසස් අධ්‍යාපනය ලබන දේශප්‍රේමින් බොහො විට දේශපාලනයට ඉහලම තැන දිම හො හොද රැකියවක් ලැබුන විට දේශප්‍රේමීත්වය අමතක කිරිම සිදු කරයි.අපි බොහො විට කරන්නේ කෙසේ හො හොදට ඉගෙන ගෙන රැකියවක් කිරමට උත්සහා කිරිමයි.රජයේ රැකියාවන් ගැන නම් කියන්න අවශ්‍ය නැහැනේ. පෞද්ගලික රැකියවන් බොහොමයක අවසාන ඵලය වන්නේ අපේ ශ්‍රමයි අඩු මුදලකට, විදේශයන්ට විකිණිමයි.මෙයින් රට තුල දුප්පත් බව පැතිරිම සිදුවනවා.

වෙනත් ආගමික පතුරුවන්නන් ,තමුන්ට යම් ආගමක් ගැන කියා එය වැළද ගැනිමට කිවු විට , ඔවුන්ට බැනිමද , ඔවුන්ට බෞද්ධ ධර්මය කියා දිමට යාමද නොකල යුතුයි , කල යුත්තේ ඔවුන්ගේ ආගම අනුවම ඔවුන් කරන්නේ වැරැද්දක් යැයි තේරුම් කල දිය යුතු යුතුයි.හේතුව ඔවුන් චාල්ස් ඩාවින් පවා නිරයේ සිටින බව අදහන නිසයි.(අත් දැකීම් ඇත)

ඊලඟ අවස්ථාව තමයි සුළු ජාතින් හා සුළු රැකියාවන් කරන්නන්ව එදිනේදා ජිවිතයේදි ගණන් නොගැනිම.
තමාගේ නිවසට එන පොල් කඩන්නා හෝ එවනි තත්වයේ යමෙක් වෙත්නම් ඔවුත් වෙතට පිලිකුළු බැල්මක් දැමිම හෝ අවශ්‍ය වැඩේ කර ගැනිමෙන් පසු අමතක කර දැමිම නවතා දැමිය යුතුයි.ඔවුන් ගැන හරියටම නොදන්නේනම් අවම ලෙස අතේ දුරින් හො ඔවුන් සමග සුහදව කතා කල යුතුයි යන්න මගේ හැඟිම.

හතර වෙනි ගුණාංගය හා ඊට පසු හැම එකක්ම සැලකිමෙදි,මේ දේශප්‍රේමීන් පළමුවෙන්ම ‍ තමන්ගෙම මතයක් නිර්මාණය කර පසුව එය අනිත් අයට පිළිගන්න යැයි බල කිරිමක් කරයි.වඩා හොද තම මතයන් අන් අය සමග හුවමාරු කිරිමෙන් තමන් නිවරදිද යන්න ගැන අදහසක් ගැනිම වෙයි.ඒ වගේම අන් අයගේ නිවරදි මතයන්ට ගරු කිරිමද කල යුතුයි.

දේශපාලනය දැන් ඇති තත්වය අනුව නිවරදි කිරිමටනම් ක්‍රමානුකූල සැලැස්මක් යටතේ වුවත් තව අවුරුදු 10 ක් පමණ කාලයක් යයි මට සිතේ.මට අනුව දේශපාලනයේ මඩ හා ගොඩ ලෙස අවස්ථා දෙකක් ඇති අතර දැනට සිටින බොහොමයක් දෙනා මඩේ දඟලමින් හා එකිනේකාට මඩ වලින් පහර දිදි සිටියි. ඔවුන්ගෙන් ‍යමෙක්ව හෝ යම් පක්ෂයක් සුදනෙක් කරන්න කරන වැයමින් වන්නේ අපි අපි තරහා කරුවන් වීන අතර ඔවුන් සමාජ ශාලා වල පක්ෂ හැඟිම අමතක කර දමා එකට මත් පැන් පානය කිරිමයි.

අපි ඇත්තටම යමක් කල යුතු යයි හගින්නේ නම් කල යුත්තේ, අපි අපි අතර පවත්වා ගැනිමට උත්සාකරන මම කලින් ද සදහන් කර ඇති විකාර රූපි තරඟයන් විසි කර දමා තරඟයන් වන තරඟ ආරම්ඹ කිරිමට උත්සාහා කිරිමයි.
උදාහරණ ලෙස වැඩියෙන්ම අද දවසේ දුප්පතුන්ට උදව් කල කෙනා
වැඩියෙන්ම අනිත් අය සමග සුහදව කතා කල කෙනා.එකිනෙකා පරයම්න් හැමවිටම නව නිර්මාණ ලොවද දයාද කිරිමට උත්සහා කිරිම වගේ දේවල්.
මෙයට නිදසුනක් ලෙස අපේ පැරණි රජ දරුවන් තිබේන සියලු දාගැබ් කඩවා තමා සැදු පුංචි ‍දාගැබ ලක් දිව ලොකුම දාගැබ යැයි නොකියු අතර තිබු දාගැබ් අභිබවා යන සේ නව දාගැබ් නිර්මාණය කිරිමට කටයුතු කලේය.ඉන් සිදු වුයේ සීඝ්‍ර ලෙස ගොඩනැගිලි තාක්ෂණය දියුණු වීමයි.

පැහැදිලිව කියන්නේනම් තමා විසින් මතයක් ඇති කර එය හරිම යැයි නොකියයා , එහි වැරදි ඇත්නම් පෙන්වා දෙන ලෙසත් නැත්නම් ඊට වඩා හොද මතයක් නිර්මාණය කරන්නයැයි කියා තරඟයක් ඉල්ලිමයි.එවිට වඩා දියුණු වු හොද මතයක් අවසානයේ නිර්මාණය වේවි.


මේ මගේම අදහස් වේ ,නමුත් නිවරදිමදැයි නොදනිමි.ඒ ගැන ඔබේ අදහස් දැනගන්නත් කැමනියි.

Thursday, April 23, 2009

ආදරය , මිත්‍රත්වය හා මම

ලොකේ ඉන්න ඕනි කෙනෙක් අත් විදින දෙයක් තමා මිත්‍රත්වය හා ආදරය කියන්නේ.ඒ වගේම අපි මිත්‍රත්වට තව අවස්ථා වලට බෙදාගෙන තියෙනවා.හොදම යාළුවා ,අතේ දුරින් ඉන්න මිතුරා , එදිනෙදා හමුවන මිතුරා.කලාතුරකින් හමුවන මිතුරා.හැබැයි අපි ඔය එක එක අවස්ථා වලදි හැසිරෙන්නේ විවිධ විදිහට.

දැන් මම කියන්න යන්නේ ආදරයක්/මිත්‍රත්වයක් පටන් ගන්න විදිය ගැන නෙවෙයි.පටන් ගත්ත එක දිගටම තියාගැනිමට අවශ්‍ය යැයි මම හිතන දෙවල් වගයක්.ඔව්, මම දන්නවා ඔබ දැන් හිතන්නේ, ඔ‍බේ මිතුරන් තරහා වෙලා නැහැ ,අදරවන්තයා හො වන්තිය තරහා වෙලා නැහැ කියලානේ.ඒ ගොඩක් වෙලාවට , තවම අවශ්‍ය අවස්ථාවන් උදා වෙලා නැති නිසා වෙන්න පුළුවන් නිසා.

මිත්‍රත්වය හො අදරය පැවතිමට බල පාන කරුණු හතරක් තියෙනවා.(මම හිතන විදිහට)

1. ඔබ මිතුරව ඔබේ මිත්‍රයෙක් කියලා සලකන්න ඕනි.
2. මිතුරා ඔබව ඔහුගේ මිත්‍රයෙක් කියලා සලකන්ක ඕනි.
3. ඔබ ඔබේ මිතුරට මිත්‍රයෙක් විය යුතුයි.
4. මිතුරා ඔබට මිත්‍රයෙක් විය යුතුයි.

මේ වගෙම තමා ආදරයෙදිත් ,

5. ආදරවන්තිය, තම ආදරවන්තයා තමාට ආදරය කරන බව සිතිය යුතුයි.
6. ආදරවන්තයා,තම ආදරවන්තිය තමාට ආදරය කරන බව සිතිය යුතුයි.
7. ආදරවන්තයා, ආදරවන්තියට ආදරය කරන්න ඕනි.
8. ආදරවන්තිය, ආදරවන්තයාට ආදරය කරන්න ඕනි.


දැන් ඔය 1 හා 4 හො 2 හා 3 අවස්ථාවත් පැවතුනොත් මිත්‍රත්වය පවතිනවා එක අවස්ථාවක් එනකම්.ඊට පස්සේ ඒක කැ‍ඩෙන්න පුළුවන්. ඒක මම උදාහරණයකින්ම පැහැදිලි කරන්නම්.

සමන් කියලා කෙනෙකුයි නිමල් කියලා කෙනෙකුයි ඉන්නවා.

සමන් බලාපොරොත්තු වෙනවා නිමල් එයාගේ හොදම මිතුරා කියලා.නිමල් හැම විටම සමන්ට හොද මිතුරෙක් වෙන්න උත්සහා කරනවා.දැන් මේක මිත්‍රත්වයක් විදිහට පවතිනවා.

සමන් මිත්‍රත්වය බලාපොරොත්තු වෙනවා විතරයි,ඒත් සමන් නිමල්ට හොද මිතුරෙක් වෙන්න උත්සහා කරන්නේ නැහැ.
දැන් නිමල් සමන්ගෙන් මිත්‍රත්වය බලාපොරොත්තු වෙනවා.ඒත් නිමල්ට සමන්ගේ මිත්‍රත්වය ලැබෙන්නෙ නැහැනේ. එතකොට දෙදෙනා අතර මිතු දම කැඩෙනවා.

ඇත්තටම ඒ කියන්නේ නිමල් මිත්‍රත්වට බලාපොරොත්තු නොවෙනකම් දෙදෙනා අතර මිතු දමක් පවතිනවා.

අද දවසේ ඇත්තටම මෙවැනි අවස්ථා බොහෝ විට පවතිනවා.මේ දේම අද දවසේ බොහෝ ආදර වන්ති/වන්තයො අතරත් පවතිනවා.

මේ දේ එදිනෙදා ජිවිතයෙදි නොතේරෙන්නේ, එක් අයෙක් හැම විටම වගේ පරිත්‍යාග කරන(3 හෝ 4) අතර අනෙකා ඒ දෙ ලබා ගැනිම(1 හෝ 2) කරයි.පරිත්‍යාග කරන්නා අනෙකාගෙන් යමක් තමාට පරිත්‍යාග කරන්න යැයි පැවසු වි‍ට දෙදෙනා අතර බොහො විට විරසක වීම් ඇති වෙනවා.ඔයිනුත් සමහර විට පරිත්‍යාග කරන්නා අනෙකාගේ පරිත්‍යාගය එපා යැයි කියන පරිත්‍යාගය කරන නිසා බැදිම සුරැකෙනවා.

මිතුදමේ හො ආදරයේ හො ඒ අවස්ථාවන් හතරම ක්‍රියාත්මක කලහොත් දීර්ඝ කාලීන සමිබන්දයක් පවත්වා ගන්න පුළුවන් වේවි යන්න මගේ විශ්වාසයයි.

අවසානයේ ටිකක් හිතන්න ,ඹබ අර මිතුදම හො ආදරය පමණක් බලාපොරොත්තු වෙන කෙනෙක්ද නැත්නම් බලාපොරොත්තු වෙන ගමන් අනෙකාගේ බලාපොරොත්තුව ඉටු කරන අයෙක්ද කියලා.

(මේක ලියන්න හේතුවනම්,යම් සමාජයක් දියුණු විය යුතු නම් අනිවාර්යයෙන්ම එහි සිටින බොරු මිතුරන් පුළුවන් තරම් අඩු ප්‍රතිශතයක්ව සිටිය යුතුයි)








Monday, April 20, 2009

තරගය , අනාගතය හා මම

මම දැනට ශ්‍රි ලංකාව තුල අවුරුදු විස්සක පමණ ජිවත් වී ඇත.ඉන් අවසාන අවුරුදු අටේදි සමාජය ගැන වටපිටාව ගැන විවිධ මිනිසුන් ගැන යම් යම් කරුණු ඉගෙන ගැනිමට පුළුවන් විය.සමස්තයක් විදිහට දැන් කියන්න යන්නේ මම රටේ පවතිනවාය කියන විවිධ වු තරග හා ඒවා නිසා රටේ අනාගතය කෙසේ වේදැය මම සිතන ආකාරය වේ.

පළමුවෙන්ම මම ලංකාව ගැන හැමොම දන්නා , නවීන කාලයේ නගර කතාවක් මම කියන්නම්.

ඔයගොල්ලො හැමොම දන්නවානේ අපාය කියන්නේ මොකද්ද කියල.ඉතින් අපායට ගියපු කෙනෙක් ඕනි වෙලාවක උත්සහා කරන්නේ එතනින් ගැලවෙන්න.මේ අපායේ එක එක වලවල් වල විවිධ රට වල මිනිසුන් දාලා හිටියා.ලංකාවටත් එහෙම වලක් තිබුණා.මිනිස්සු පැනලා යන නිසා හැම වලකම වගේ රැකවල් දමා තිබුණ අතර ලංකාවට අදාල වලේ පමණක රැකවල් නොදා තිබිණි.මෙය දුටු අයෙක් අසල කෙනෙකුගෙන් අහුවා ඇයි මෙහෙම කරලා තියෙන්නේ කියලා.ඔහුගේ පිළිතුර නම් "අහා! ලංකාවේ මිනිස්සු තව මිනිහෙක් ඉහල යන කොට තමනුත් ඒ වගේ ඉහල යන්න ඕනි කියන එක ගණන් ගන්නේ නැතුව අඩුම ගණ‍නේ ඒ ගැන සතුටුවත් නොවි කොහොම හරි ඒ කෙනාව තමන්ගේ තත්වයට(පල්ලෙහාට) ගන්නවා.මොනවා නැතත් ඒක නම් උන් හරියට කරනවා.ඒ නිසා අපි ඒ වල ගැන කලබල වෙන්නේ නැහැ."




ලංකාවේ බොහෝ මිනිස්සු ලොක්කෙක් වෙන්න මාර ආසයි.සරලව කියනවානම් තමන්ගේ යටතේ තව එකෙක්ව හරි යටත් කරගෙන ඉන්න කැමතියි.ඒ වගෙම ඒ ලොක්කව තව ලොක්කෙක් යටත් වුනාම ඒ කෙනාගේ හොදම සොක්කා වෙන්න කැමතිය.මම නම් හිතන්නේ ලොක්කෙක්ට වඩා නායකයෙක් හොද බවයි.නායකත්වය යනු අවස්ථාව අනුව වෙනස් වන එකක් නිසා ,ඒ ඒ අවස්ථාවන්ට අනුව විවිධ පුද්ගලයන් යම් කණ්ඩායමක් ඉදිරියට හැසිරිය හැකිය.

ලංකාවේ මිනිස්සු හැමවිටම විරයෙක් වෙන්න අවස්ථාවක් ලැබුණ විට කිසිදු පැකලීමකින් තොරව ඒ අවස්ථාව ගැනිමට උත්සහා කරයි.උදාහරණයක් ලෙස කෙල්ලෙක්ට යමෙක් සුළු ව්හිළු කල විට එය දකින විරයෙක් වීමට ආස අයෙක් පළමුවෙන්ම කරන්නේ පහර දීමට උත්සාකිරිමයි.අඩුම ගණනේ ඒ කෙල්ලගෙන් එය කරදරයක්දැයි නොඅසයි.මම නම් හිතන්නේ වීරයෙක් වීමට වඩා ධීරයෙක් වීම සුදුසු වේ.ධීරයෙක් කරන්නේ අවස්ථාව අනුව ඊලඟ පියවර ගැනීමයි.

ලංකාවේ මිනිස්සු ප්‍රශ්නයක් ඇති වු කල ප්‍රථමයෙන් කරන්නේ ඒ ගැන වාද විවාධ කිරිම හා ඒ ප්‍රශ්නය කාට හෝ පැටවීමට උත්සහා කිරිමයි.නැතහොක් ලබා ගත නොහැකි කෙටි කාලීන විසදුම් ඉදිරි පත් තරමින් කල් මැරිමයි.හොදම උදාහරණය ලෙස දැන් පවතින දේශපාලනය ගත හැක.බොහො විට අප කරන්නේ ඇති වන/වු දේශපාලකයන්ට බැන බැන අපගේ එදිනෙදා කලය කා දැමීම පමණි.යම් පුද්ගලයකු කරන වැරදි අපි විසින් සමාජයට හෙලි කල යුතු මුත් ,අවසානයක් නොමැති වාද පවත්වාගෙන යාම ‍කිසිදු තෙරුමක් නොමැත.ඇත්තටම මේ ගැන යමක් කල යුතු නම් කල යුත්තේ දීර්ඝ කාලීන යමක් කිරිමය.

කිසිම දෙයක් සමකාමීව විසදා ගැනිමට අකමැතිවීම.එනම් තමාට බැනු පමණින් අපහස කල පමණින් ඊට සමාන හෝ වැඩි ප්‍රතිචාරයක් දැක්වීමට උත්සහා කිරිමයි.අනෙකා ප්‍රතිචාර දැක්වුයේ කුමන මානසික මට්ටමක සිටද,ඒ අවස්ථාවේ ඔහු වටා ඇති බලවේගයන් මොනවාද යන්න කිසි විටක නොසිතීමයි.

තමා දක්ෂයයි නොකියා , අනෙකෙක්ට සාපෙක්ෂව තමා ඉතා දක්ෂයැයි කිමට උත්සාකිරිම.එයින් එක් අවස්ථවක් ලෙස අවස්ථාවක් ලැබුණු විට ආසාවෙන් කරන දෙයක් වන අනේකාව පැගීව හෙවත් පාච්චල් කිරිම ගත හැක. දක්ෂතාවය අවස්ථාව මත රදා පවතින අතර එය අනෙකෙක්ට සාපෙක්ෂව දැක්විය නොහැකියි.

ඉතින් ඉහත කිවු සියල්ලන්ගෙම අවසාන අවස්ථාව වන්නේ එකෙක්ට තවකෙක් තරහකාරයෙක් වීම පමණයි.හෙවත් තරඟයක් ලෙස නොගිනිය හැකි තරඟයන් කිරිමෙන් තමා ලොක්කෙක් ,වීරයෙක් , දක්ෂයෙක් යයි පවසා අඩු මිතුරු කැලක් හා වැඩි හතුරන් පිරිසක් ඇති කර ගැනිමයි.එයින් අවසානයේ වන්නේ තනි තනියේන් ඉදිරියට යැමට උත්සාකරන අතර කණ්ඩායම් හැඟිමක් නොමැති නිසා තමාගේ තරඟ කරු පරද්දනවාට ඔහුව තරඟයෙන් ඉවත් කිරිමට උත්සාහ කරයි.තරඟයක් යනු වඩා වැඩැති යමක් හදුන්වා දිමක් හෝ තියෙන යමක් දියුණු කිරිමට ගන්නා උත්සාහයකි.යමෙක්ව ඉවත් කර දිණුමක් ලබා ගැනිම තේරුමක් නොවන අතර ‍යමෙක් අනෙකා තමාව තරඟයෙන් ඉවත් කිරිමට උත්සාහ කරන බව දැන ගත් විට කල යුත්තේ ඔහුව ඉවත් ‍කිරිමට උත්සහා නොකට එල්ලවන තර්ජනයන්ට නිවරදිව මුහුණ දි පරාජය කිරිමයි.

මෙයින් සිදු වන්නේ තරහාකරයින් පිරුනු,අක්‍රමවත් හා අසමගියෙන් පිරිණු සමාජයක් අනාගතයෙදි පහසුවෙන් බිහි වීමයි.

ඉතින් ඉදිරියටත් ඔබ මෙලෙස විකාර රූපි තරඟයන් වල යෙදෙනවාද නැත්නම් ඉන් ඉවත් වී කාලය ,ශ්‍රමය හා මිතුරන් ඉතිරි කරගන්නවාද යන්න ඔබගේම පමණක් වු තීරණයක් වේ.

අවසානයේ මම ටිකක් පැරණි බොහො අය නොදන්නා කථාවක් කියන්නම්.

කැලැවක අලියෙක් , වදුරෙක් ,හාවෙක් හා නරියෙක් විය.ඔවුන් සිටි ප්‍රදේශයේ කෑම හිග වු අතර නව කෑම සොයා යෑමටනම් ගංගාවකින් එතෙර විය යුතුයි.එතෙර වීමට පාලමක් නොතිබු නිසා අලියා ,වදුරා,නරියා හා හාවා පාලමක් සැදිමට උත්සාහා කලේය.අතර මගදි වු යම් සිදු වීමක් නිසා නරියා තරහා වී වැඩය අත් හලේය.ඔහුගේ සහාභාගිත්වය නැතිව මෙය කල නොහැකි බව තේරුම් ගත් අලියා නරියා හමු වීමට ගියේය.පසුව ඔහු වැල් කිහිපයක් කඩා එක වැලක් නරියා අතට දී කැඩිමට යැයි පැවසීය.පහසුවෙන් නරියා එම වැල කඩා දැම්මේය.අනතුරුව වැල් කිහිපයක් එකට බැද අඹරවා එය කැඩිමට යැයි පැවසිය.නරියා කෙතරම් උත්සාහ කලත් කැඩිමට නොහැකි විය.අනතුරව සමගියෙන් කණ්ඩායමක් විදිහට වැඩ කල ඔහුවු පාලම සාදා නිම කරේය.


Saturday, April 18, 2009

කාලය , මිත්‍රත්වය හා මම

වයස අවුරුදු අටයි
ප්‍රථම හොදම මිතුරා හමු විය.
ඉන්
කාලය අවුරුදු හයක්ම සුපුරුදු ලෙස දිව ගියේය.....
එකපාරටම
නොදන්නා මුත් නිවරදිව
ලොකු චෝදනාවක්
................................................
මිතුරු කම අවසන්

මිතුරන් එපා විය

කාලය සුපුරුදු ලෙස ගමනේ
උසස් පෙල
මිතුරෙක්
ඔහුට මා ඔහුගේ "Best Friend" විය..
ඉදින් මාද ඔහුට "Best Friend" විය
"අනාගතය සදහා නිවරදිව වැඩකරන්න"
නොකියා කීවෙමි.
එපමණයි ,
මා පිළිතුරක් ලදීමි
"FriendShip isn't a business"

කාලය නැවතත් ගමනේ
හදිස්සියෙම
පාසල් ස‍ගයෙක්.
දෙවරක් වැටුන වලේ නැවතත් ?
නමුත් ඒ ගෙවුනු දිගු කල
"ඔහුට හොද මිතුරන් සිටි"
යයි මා සිතුවෙමි.
මා සංසුන් විය.
ඒත් එක් දිනකදි
"ඔබ මගේ පරම මිතුරා"
මට නොකියා කීවේය
..................................

Friday, April 17, 2009

ජාල ලඝු සටහන් දිගු දුර(කාල) ධාවන තරඟයට සුභපැතුම්

මෙවරත් පැවැත්වෙන ජාල ලඝු සටහන් තරඟයට මගෙන් උණුසුම් සුභපැතුම්!
ඒ වගේම සහාභාගි වන සියල්ලන්ටම කිසිදු රොගයක් ,තර්ජනයක්(ගෙදරින්) , කම්මැලි කමක් හා නිදිමතක් නොසැදි සම්පුර්ණ කාලයම දිවිමට අවස්ථාව ලැබේවායි මම පතමි.


මම මෙවර තරඟයට සහාභාගි නොවන මුත් අතර මගදි වතුර ගැසිමට(අනිවර්යයේන්ම) සැදි පැහැදි සිටිමි.


Thursday, April 16, 2009

දෘඨාංග, මෘදුකාංග හා මම

****** පළමු ලිපියේ අදහස් දැක්වු සැමට ස්තූතිය පලකරමි.මෙම ලඝු සටහනේදි අදහස් පල කිරිමේදි මිශ්‍ර සිංහල භාවිතා කළ හොත් එයට බැන අවමන් කිරිමට මට කිසිදු අවශ්‍ය තාවයක් නොමැත.ඉන් මා අදහස් කරන්නේ එය අනුමත කරන බව නොවේ , අවුරුදු ගණනක් කල වැරැද්දක් එක් අවුරුද්දක් තුල සම්පුර්ණයෙන් නිවරදි කල නොහැකි බව මා පිළිගන්නා නිසාය(කල හැකි ඒවාත් තිබේ).සුළුවෙන් ආරම්භ කර පසුම ක්‍රමක් ක්‍රමයෙන් නිවරදි මගට අපට ගමන් කල හැකි වේවි.උදාහරණයක් ලෙස මම මේ සටහනක් ප්‍රථමයෙන් ලියන විට මිශ්‍ර‍ සිංහල මා නොදැනුවත්වම භාවිතා කරන අතර පසුව 20-30 පාරක් නැවත නැවත කියවිමෙන් සටහන නැවත සාමාන්‍ය සිංහලයට හරවා ගනිමි.(‍සැලකිය යුතුයි ,මෙය මා ගැන වර්ණනාවක් නොව මම මා ගැන කණගාටුවෙන් කියන්නක් පමණක් වේ) *******

අද දවසේ ලංකාවේ පරිඝනක ක්ෂ්‍රෙත්තය තුල බොහෝ ‍දෙනෙක් පරිඝනක ක්‍රමලේඛකයන් වේ.අනිත් අය පරිඝනක අළුත් වැඩියා කරන අය ,තොරතුරු තාක්ෂණය යොදා ගන්නන් හා දත්ත ඇතුලත් කරන්නන් වේ.පරිඝනක නිර්මාණය කරන්නන් මා දන්නා තරමින් එක් අයෙක් වත් නොමැත.

අප කෙතරම් මෘදුකාංග සැදුවත් එය දිවවිමට අපේම කියා දෘඨාංග(පරිඝනක) නොමැත.අපගේ දෘඨාංග නිපදවීම (මා දන්නා තරමින්) ඉතා සරල විදුලි බුබුලු රටා නිර්මාණය කරන උපකරණ , ප්‍රදර්ශන වලට හැමදාම එක් කරන සෙල්ලම් රොබො යන්ත්‍ර හා ඒ අශ්‍රිත යමක් පමණි.

ඒ කාලයේ එනම් මහා පරිමාණ පරිඝනක ලංකාවට ගෙන්වු කාලයේ අපිටම අපේ මහා පරිමාණ පරිඝනක නිර්මාණය කරගන්නා සමාගමක් නිර්මාණය කරා නම් (අඩුම ගාණේ දැන් වත්) .අපි දෘඨාංග තාක්ෂණය භාවිතා කිරිමට පටන් ගැනිමෙන්,අනාගතයේදි අපිට පරිගණක තාක්ෂණයේ අපේම නව ඉසව් කරා ගමන් කරන්ට පුළුවන් වේවි.එවිට අපේ ක්‍රමලේඛකයන්ටත් එතෙරිත් ලැබෙන්නා වු සමහර විට අපට නොගැලපෙන්නාවු දෘඨාංග තාක්ෂණයන්ට ක්රමලේඛන ලිවිම අත හැර ,අපටම ගැලපෙන්නාවු නව නිර්මාණ බිහි කල හැකි වෙවි.

හෝව්, දැන් හිතේ පොඩි ගැටළුවක් තියෙනවා නේද?ඒ මේකනේ.

"ඒත් සම්පත් නැහැනේ, අපිටම පරිඝනක නිර්මාණය කරන්න.ඒ මදිවට දැන් තියෙන ද්විත්ව හර, සිව් හර පරිඝණක සමග තරග කල හැකි පරිඝනක නිර්මාණය කල හැකි වේවිද ? , "

මට දිය හැකි හොදම පිළිතුර වන්නේ ,ජපානය පරිඝනක ගැන ඔය විදිහට හිතුවනම් අද අපෙන් අධාර ඉල්ලන තත්වයකයි ඉන්නේ.ඔවුන්ගේ දුපත් සම්පත් අතින් කෙතරම් පොසත්ද යත් සිලිකන් පරමාණු වැලි වල යහමින් තිබු අතර තඹ හා යකඩ කුඩා ප්‍රමාණයක් වියොජනය කල නොහැකි සංයොග සමග පැවතිහ(තාමත් තියෙනවා ඇති) .නැත්නම් ඉතාමත්ව සරලව කියනවානම්, ඔවුන් 100% ක් ම වගේ අමුදව්‍ය ගෙන්නගන්නේ යුරෝපයෙනි(විදෙස් රට වලිනි) .ඔවුන් මෘදුකාංග සංවර්ධනයත් සමග දෘඨාංග සංවර්ධනය කිරිමෙන් කර ගත් විනාශ, ඔබ අද අත්විද තිබේනවානේ.(අහෝ ඔවුන් කෙතරම් විනාසයක් කර ගත්තේද යත් ,රට තුල මෙපමණ සම්පත් ඇති අප අද ඔවුන්ගේ අධාර මත යැපෙමින් සිටි. හික්!)

ඔය කිව්වේ සම්පත් ගැන නේ,තාක්ෂණය පැත්තේන් නම්.... අපි එක් අයෙක් ලෙස දිනපතා අනවශ්‍ය ලෙස නාස්කි කරගන්නා මුදල්,කාලය හා ශ්‍රමය ඉතිරි කරගෙන සියල්ලම එක් කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වුවහොත් දැන් පවතින තාක්ෂණය ජය ගැනිම නිකම්ම නිකම්ම නිකම් දෙයක් හැටියටයි මම දකින්නේ(අත් දැකිමුත් ඇත).එතකොට ඔය ද්විත හර කැලේකදිවත් සොය ගන්න බැරි වෙවි.

//// ඔන්න පටලවාගන්න එපා මුදල්/කාලය නාස්තිය නතර කර ගැනිම කිව්වේ රෑට විදුලි බුබුලු නිවා දවල්ම පමණක් පොත් කියවීමවත් , උසස් තත්වයේ ශබ්ද වාහිනි ගැනිම නතර කිරිම වත් , මේ ජාල ලඝු සටහන් කියවීමට පරිඝකය දැමි‍මෙන් වැලකි සිටිමවත් නොවේ.එදිනේදා යොදවන මුදල් නිවරදිව යොදනවද, එය තමාට හා ලංකාවට ලාබයක් ගෙන දේද යන්න ගැන සැලකිලිමත් විමයි.උදාහරණ ලෙස උසස් තත්වයේ ශබ්ද වාහිනියක් නොගෙන බාල ඒකක් ගෙන පසුව කනේ විවිධ අබාධ හට ගෙන එයට ඊටත් වඩා මුදල් වැය කිරිමට සිදු කර ගැනිම. ( ඇයි ශ්‍රමය නාස්ති වන නිසා මුළු දවස පුරාම කිසිදු දෙයක් නොකොට නිදා ගැනිම...) ////

අවසාන වශයෙන් මෙය මම ,මා හටම කියන ලද්දක් වේ .

වැරැද්දක් ඇත්ද? පෙන්වා දිම උතුම් ගුණයකි.

Wednesday, April 15, 2009

සිංහල භාෂාව,ලංකා ඉතිහාසය හා මම

ප්‍රතමයෙන් කිය යුතු ව ඇත්තේ , මම උසස් පෙළට විද්‍යා විශය තෝරා ගත් අයෙක් බව.මේ මම සිංහල භාෂාව ගැන මම හිතන දේයි.

සිංහල භාෂාව,ලංකාව තුල අතීතයේ සිටම භාවිත වු ප්‍රධාන භාෂාවක් වෙයි.මම දන්නා විදිහටනම් ඉංග්‍රිසි භාෂාව එහි මුල්ම අවධියේ පවතින විට,ලංකාවේ උසස් ලේඛන රිතීයක් පැවතීය.ඉතාමත්ව සරලව කියනවානම්, ඉංග්‍රිසින් කතා කිරිමට භාෂාවක් සොයන විට , ‍අපේ රජවරු වෙද පොත් ලීවු අතර , දීර්ඝ කාලයක් පැවතිය යුතු සටහන් සෙල් ලිපි ලෙසද , සටහන් කිරීමට සමත් විය.එකල පැවති විවිධ වු විශයන්ට අනුව, සිංහල භාෂාව කිසිදු අසරණ කමකින් තොරව නව වචන නිර්මාණය කිරිමටද , එවාට අදාල වු අදහස් ඉතා උසස් හා අසන්නාට පහසු ලෙස දැක්විමට සමත් කම් දැක්විය.

නමුත් කලයාගේ ඈවෑමෙන් , ඇති වු සිංහලයන්ගේ පරාධීනත්වයත් (මෙය සිංහලයේ අවසාන රජු හෙවත් කීර්ති ශ්‍රී රාජසිංහ රජු ගෙන් පසු ඇති වු පරාධීනත්වය, එතුමා ලංකාවේ අවසාන රජු නොවේ) හා පසුව අපරදිගට ඇති වු ගැති බවත් හේතුවෙන්,උසස් සිංහල භාෂාවත් , සිංහල සංස්කෘතියත් පෙරිමකට භාජනය විමෙන් පසු පරම්පරාවන්ට ලැබිනි, එනම් සිංහල ‍බසේ මුලින් තිබු ප්‍රමාණයෙන් 50% ක් පමණ ඊලග පරම්පරාවට(1948 සිටි පරම්පරාව) ලැබිනි.එයින් පසු අද තෙක් ඇති වු විවිධ නායකත්වයන්ට සිංහල බස ගැන විශාල කැක්කුමක් ඇති නොවු බව ‍පැහැදිලිව පෙනේ.‍එලෙසම සිංහල බස ගැන ‍ කැක්කුමක් ඇති වු සියළුම අය නිෂ්ශබ්ද කිරිමේ කුමන්ත්‍රනද පහසුවෙන් කෙරි ගියේය.

අවසානයේ ඒ සියල්ලෙන්ම , අනගි ඵලයක් ලෙස සිංහල භාෂාව 10% තෙක් පිරිහි ගොස් ඇති අතර , ඊටත් වඩා සතුටට කාරණාවනම් , ඔබත් මාත් එදිනෙදා පාවිච්චි කරන්නේ සිංහල භාෂාවෙන් 6% ක් පමණ වීමයි.

අද සිංහල භාෂාව කෙතරම් දුරටත් අසරණ වීද යත් , පිටතින් එන ඕනැම වචනයක් ඉතාමත් පහසුවෙන් සිංහල වචනයක් බවට පත් කර ගනි.

බ්ලොගයක් , වෙබ් පේජයක්, රේඩියොවක් , ටීවී එක, පෙන් එක .........

මින් සමහරකට සිංහලේ භාවිත වචන ඇති අතර , සමහරකට නම් සිංහල වචන නිර්මාණය කල යුතුයි.නව වචනයක් නිර්මාණය ‍බොහෝ විට බොහෝ අමාරු කටයුත්තක් වී ඇති අතර , සැදුවත් භාවිත කිරිමට අපහසු යයි සිතේ.එයට ප්‍රධානම හේතුවනම් ,අප ඉතාමත් කැමැත්තේන් එදිනේදා ජිවිතයේදි ශුද්ධ සිංහල භාවිත කිරිමෙන් ඉවත්ව මිශ්‍ර සිංහල භාවිත කිරිමයි(ඒත්, මික්ස් සිංහල කොච්චර ඊසිද , මෙයාට පාගල්).

මී වදයක සිටින මි මැසි පරම්පරවක් , බාල වු , විවිධ වු විස හෝ ජරාව එකතු වු මී පැණි භාවිත කරන්නේනම්, ඒ පරම්පරාව යම් තරමකට පරිහානියකට පත් වෙයි.ඔවුන්ගෙන් ඇති වන දෙවන පරම්පරාව පළමු පරම්පරාවට වඩ දුර්වල නිසා වඩා පරිහනියකට පත් වෙයි. අවසායේ ඉක්මනින්ම මුළු මී වදයම විනාස වේ.

මී වදය = සිංහල ජාතියනම්
බාල වු , විවිධ වු විස හෝ ජරාව එකතු වු මී පැණි = මිශ්‍ර වු ,නිවරදි භාෂා රිතියක් භාවිත නොකරන සිංහල බස වේ

මා දන්නා විදිහටනම්, අතීතයේ ලංකාවට ඉතා ඉහල යුද බලයක් තිබු අතර සිංහලයන් සැහෙන රණ කාමින් විය.උදාහරණයක් ලෙස ඉංග්‍රිසිත් අපරදිග යටත් විජිත කර ගත් සියලුම රටවල් යටත් වුයේ යුධ ශක්තියෙන් පරාජ කිරිමෙනි, නමුත් ලංකාව පමණක් යුධ ශක්තියෙන් බැරි වු නිසා කූට උපක්ක්‍රමයක් (ගිවිසුම) මගින් ජය ගැනිම.පසුව ජාතියක් ලෙස නැගි සිටියහෝ ඉතා දරුණු අනතුරක් වන නිසා,මතු අරක්ෂාව උදෙසා ජාතිය ඇතුලත විවිධ ගැටලු ඇති කර , ජාතියක් ලෙස දුර්වල කිරිමට උත්සහා කිරිය.(මම නම් හිතන්නේ නම් ,ඔවුන් එය සාර්ථක කර ගත්තා)


මේ ලිපියට අවසාන වශයෙන් ,


1. "මට හිතුනා බල ප්රදේශ නමක් මිල දි ගන්න"
2. "ජාල අඩවියක් සැදිමෙදි උදව් අවශ්යනම් ලබා ගන්නේ කොහොමද?."
3. " ලිනක්ස් ක්රමලේඛන විද්යුත් පොතක් හොයා ගතිමි.
4. "මෙය මාගේ ප්‍රතම ජාල ලඝු සටහනයි."
5. මට හිතුනා ඩොමේන් නේම් එකක් ගන්න.
6. වෙබ් සයිට් එකකට හෙල්ප් ගන්නේ කොහොමද?
7. ලිනක්ස් ‍ප්‍රොග්‍රැමින් ඊ-බුක් එකක් හොයා ගත්තා.
8. මෙක මගේ ප්‍රතම බ්ලොග් එකයි.

හික් , මට පිස්සු නේ ?


මාගේ වැරැද්දක් ඇත්නම් , ආසයි ඒක දැන ගන්න

Monday, April 13, 2009

තාක්ෂණය , සිංහල ව්‍යාකරණ හා මම


හෙළයන් වන අප, ජාතියක් ලෙස ඉදිරියට යැමේදි අත්‍යාවශ්‍ය කරුණු දෙකක් ලෙස මා දකින්නේ තාක්ෂණය හා සිංහල ව්යාකරණයි.

තාක්ෂණය‍‍‍ ගැන සැලකීමේදි , උදාහරණයක් ලෙස, බහුතරයක් දෙනා පරිඝණක පංති ‍සදහා සැලකිය යුතු වියදමක් දරමින් ,පරිඝණක තාක්ෂණයේ ඉතා කුඩා කොටසක් වු පරිඝණක භාවිතය අවුරුදු ගණනක් ඉගෙන ගනි.එලෙසම ක්ෂුද්‍ර පරිපථ ක්‍රමලේකණය(
micro controller programming) හදුන්වා දි දිගු කළක් ගත වුවත්, අප පාසල් විශය නිර්දෙශයට ඒ පිළිබද සුළු හෝ හැදින්වීමක් වත් කර නැත.තවමත් එය අපට සංඛ්‍යාංක ඉලේක්ට්‍රොනික විද්‍යාවේ මුලික ද්වාර 5 ගැන උගන්වමින් සිටි.අඩුම වශයෙන් ගත් කල සරල බහු කම්පන පරිපථයක් නිර්මාණය කල හැකි පාසල් සිසුන් ගණන කෙතරම් අල්පද. එයිනුත් එහි ක්‍රියාකාරිත්වය පැහැදිලිව කිව හැක්කේ කී දෙනෙකුටද.

දැන් ඔබ කියයි "ඇයි දැන් කී ‍දෙනෙක් පරිඝණක විශය / තොරතුරු තාක්ෂණය හදාරනවද ?" .ඇත්ත උදාහරණයකට කියනවනම්, මම දහය වසරට ඇතුලත් වු විට, ගුරුවරුන් අප ඉදිරියට වෙන්නේ කවුරු වෙන්නේදැයි ගැන සුළු හැදින්වීමක් කරන්නයි පැවසු විට ,බොහො අය ඒ කාලයට අනුව සුපුරුදු ලෙස "ඉංජිනේරුවන් , දොස්තර ....." , යැයි කි අතර පරිඝණක ක්‍රමලේඛකු වන බව පැවසුවේ මා පමණයි.ඒත් දැන් පදුරකට නෙවෙයි තණකොළ, කොළයකට ගැසුවත් පරිඝණක ක්‍රමලේඛකයන් 20-40 විසි වේ.හැබැයි ඔවුන්ගේ දැනුම ගැන නම් , මා ප්‍රායොගිකව හොදට අත්විද තිබේ.වෛද්‍යවරයෙක් , ඉංජිනේරුවකු වීම මුලිකව ඉගේනිම මත රදා පවතින මුත් තොරතුරු තාක්ෂණය හා පරිඝණක තාක්ෂණය යන පැති වලින් ලොක්කේකු වීම තනිකරම මුදල් මගින් පමණක් කළ හැකි වීම ගැන මා කණගාටු වෙමි.

ව්‍යාකරණය ගැන නම්,..... " ගොඩක් බරපතලව සැළකිය යුතු කාලයකි මේ" , ලෙස කීම වරදක් නොවේ යැයි මම සිතමි. හොදම උදාහරණය ලෙස , මේ ගැන කතා කරන මමවත් බොහෝ විට සිංහල භාෂාව භාවිත කරන්නේ නිසිම ව්‍යාකාරණාකුව නොවේ.නමුත් මගේ පියා සිංහල ගුරුවරයකු වීම ගැන මම හැමවිටම සතුටු වෙමි. එයට හේතුව මම කුඩා කල , එතුමා මට සිංහල බස නිවරදිව කියා දී තිබීම නිසා සිංහල භාෂාව ගැන, එහි වටිනාකම ගැන හැගිමක් තවම සිත තුල පවතීමයි.නමුත් කාලයාගේ ඈවැමෙන් හෙවත් පාසල් විශය නිර්දේශය නැමැති කළු ගලේ මගේ සිංහල දැනුම නැමැති කඩුව දීර්ඝ කාලයක් හැපීමෙන් ‍ඉතා හොදින් මොට වී ඇත.

ඒ කරුණු කෙසේ වෙතත්, මෑතකදී මම කුඩා ළමුන්ගේ විශය නිර්දේශිත පොත් කිහිපයක් කියවිමෙන්, මා ඇත්තටම ලොකු සතුටක් ලැබුවෙමි. හේතුවනම් ඉතාමත් ඉක්මනින් සිංහල භාෂාවත් /සිංහල ව්‍යාකරණයත් ලෝකයේන් සැග වී යන නිසා, මට අනාගතයෙදි දුක් වීමට හෝ මව් භාෂාක් නැති වීමයි.

ඉතිං , මා නම් උණු හැලියේ සිටි , වතුර මද පමණක් රත් වු කල නටන කකුළුවාගේන් , ඉදිරි අනතුර ගැන දැක ඉන් බේරිමට උත්සහා කරමින් සිටින කකුළුවෙක් බවට පත් විමි.නොයසෙනම් "බඩ පෙරට" සටන් පාඨය අමතක කරමින් සිටිමි.අන් අය ගැනත් මම ඉහල බලාපොරොත්තුවෙන් පසු වෙමින් සිටිමි.

ස්තූතියි.

Wednesday, April 1, 2009

මාතෘකාවක් හොයා ගන්න බැරි වුනා

මොඩයාගේ දවස අවසානයත් සමගම, මමත් සිංහල බ්ලොගයක් ආරම්බ කරා.හික්

හිතනවා ඇති ඇයි දැන් පටන් ගත්තේ කියලා.කලින් සිටම ආසාවක් තිබු මුත්, පෙරේදා ‍රාත්‍රියේ ගයන් කල්හරගේන් ලිනක්ස් ගැන ඇහිමෙදි ‍ඔහුගේන් ලත් පිළිතුර සමග වු වෛරසය මටද බෝ වු නිසා දැන් ඉතින් ලියනවා .

මෙන්න වෛරසය " ඔබේ රචනා ශෛලිය ඉතා අගී, නරකද සිංහල බ්ලොගයක් ඇරැඹුවොත් ?". අනේ මන්දා අපිටත් පාඩුවේ ඉන්න නො‍දෙන හැටි.(ඇත්තද දන්නේ නැහැ කිව්වේ, මේක දැකපු ගමන් මම අහපහු බැළුවා ප්‍රශ්නය දිහා,අවුලක් වෙලාද කියලා. හික්)

මම ගැන - ම්, මට නම් බාගේට පිස්සු, මම නෙවෙයි මාව දන්න හැමොම කියනවා ඒක. VB6 ගැන නොදන්න දෙයක් නැහැ කියලා හිතාගෙන ඉන්නවා.සමාගමක් ආරම්භ කිරිමට හිතේ තියාගෙන මේ දවස් වල A/L වලට පාඩම් කරනවා.

අරම්බය, විදිහට මේ ඇති.කවුද මන්දා හිත ඇතුලේ කෙනෙක් කිව්වා. ඒ නිසා දැනට ඇති.