Sunday, September 20, 2009

සරල සේව්‍ය පරිගණකයක් හදමු

මම අද ලියන්න හිතුවා,අපි ගොඩක් දෙනෙක් ආස කරන සේව්‍ය පරිගණකයක් ,සිංහලෙන්ම කියනවනම් සේව(ර්) කම්පියුටරයක් (server computer) සරලව අපේ ගෙදර පරිගණකයෙන් හදාගන්නේ කොහොමද කියලා.මේ ගැන දන්න අයත් ඇති . ඉතිං මම හිතනවා මම වරද්දලා හරි , වැඩි වැල්වටාරම් කරගෙන හරි තියෙනව නම් පෙන්නයි කියලා. මේකට තව එකතු කරන්න තියෙනවනම් ඒත් කියන්න පුළුවන්.

මම මේ කියලා දෙන්න යන්නේ හොදම සේව්‍ය පරිගණකයක් හදන විදිහ නම් නෙමේයි.ගොඩක් සරල පහසුවෙන් හදාගන්න පුළුවන් විදිහ හොදේ.

ටෙලිකොම් වේවා , ඩයලොග් වේවා හරි වෙන එකක් වේවා සමාන්‍ය අපි අන්තර්ජාලය සමග සම්බන්ද වෙනකොට ඒ ගොල්ලො අපිට ලබා දෙන්නේ අහඹු විදිහට ලබා දුන්න අන්තර්ජාල මුල‍ලේඛ්ය ලිපිනයක් ( Dynamic ip address).ඒ නිසා අපිට නියත ip address එකක් හදා ගන්න වෙනවා.නැත්නම් අනිත් අය දන්නේ නැහැ නේ අපේ ලිපිනය.මේක ටෙලිකොම්, ඩයලොග් ලාගෙන් ගන්න ගියොත් නම් ගානක් ගෙවන්න වෙනවා.

අපි මොකටද කාටවත් ගානක් ගෙවන්නේ , අන්තර් ජාලෙම තියෙනවා ඕකට විසදුම්. මම නම් ඒ සදහා පාවිච්චි කරන්නේ http://www.no-ip.com/ ජාල අඩවිය

සමාන්‍ය විදිහට මේ අඩවියේ නොමිලේ දෙන සමාජිකත්වය අරගන්න.ඊට පස්සේ ඒකෙන අපිට yourname.no-ip.biz වගේ බල ප්‍රදේශ නාමයක් (domain name) ලබා ගන්න පුළුවන්.ඊට අමතරව ඒ ගොල්ලො දෙන සරල පරිඝණක වැඩසටහන බාගෙන අපේ පරිගණකයේ ස්ථාපනය කර ගන්න වෙනවා. ඒ වැඩසටහන ක්‍රියත්මක වුනායින් පස්සේ yourname.no-ip.biz ලිපිනයට එන හැම කෙනෙක්වම ඔයාගේ පරිගණකයට හරවනවා.

දැන් කට්ටිය ආවට වැඩක් නැහැ , තාම අපේ පරිගණකය ඒ ගොල්ලො ඉල්ලන දෙවල් දෙන්න දන්නේ නැහැ.සේව්‍ය පරිගණකයකින් මුලිකවම බලාපොරොත්තු වෙන දෙවල් දෙකක් තියනවා.

  1. සේව්‍ය පරිගණකයේ ඇති ජාල පිටු පෙන්නන එක(http:// හෝ https://)‍
  2. සේව්‍ය පරිගණකයේ ඇති ගොනු ලබා ගැනිම(ftp://)

මේ කරණා ඉටු කර ගන්න නම් වාණිජ මෙන්ම නිදහස් මෘදුකාංගත් සැලකිය යුතු තරමක් තියෙනවා.ඒ එක එක වැඩ සටහන් වෙන වෙනම ස්ථාපනය කරගෙන ,අවශ්‍ය මෘදුකාංග අතර සිදු විය යුතු සම්බන්ධතාවයන් සාදා ගැනිමේදි අපට තරමක කාලයක් හා වෙහෙසක් දරන්න වෙනවා.හැබැයි එහෙම හදා ගන්න එකෙන් අපිට සැලකිය යුතු තරම් ආරක්ෂා සහිත සේව්‍ය පරිගණකයක් සාදා ගත හැකි වෙනවා.

අපි සාදන්නේ සරල එකක් නිසා ,ඒකට හොදම එක තමා XAMPP වැඩසටහන.මේක ගොඩක් සරල ,ලෙසියෙන් අවශ්‍ය මෘදුකාංග සියල්ල එකපාරම ස්ථාපනය කල හැකි වැඩසටහනක්. ඒ වැඩ සටහන මෙතනින් බාගන්න.

XAMPP ස්ථාපනය කරාට පස්සේ ඔයාගේ සමාන්‍ය පරිගණකයට දැන් අන්තර්ජාලයේ ඇති අනිත් සේව්‍ය පරිගණක වගේ පහසුකම් ලැබෙනවා


ජාල පිටු රදවාගෙන අනිත් අයට පෙන්නන එක

මේකටනම් ඔය ගොල්ලොන්ට HTML , PHP ගැන දැනගෙන ඉන්න ඕනි.ඔය භාෂවකින් ලියපු සරල ගොනුවක් ඔයගොල්ලො ස්ථාපනය කල ධාවකයේ අපි හිතමු C:\ කියලා

C:\xampp\htdocs\ කියන තැන index.php හරි index.htm හරි index.html විදිහට සුරක්ෂිත කර ගන්න.

දැන් C:\xampp\xampp-control.exe කියන වැඩසටහන ක්‍රියත්මක කරන්න.

දැන් ඒකේ Apache - ඉස්සරහයි තියෙන start කියන බොත්තම ඔබන්න ,දැන් ඒ බොත්තම Stop ලෙසට හැරුනොත් කියන්නේ Apache වැඩ කියලා

Apache මගින් කරන්නේ අපේ සේව්‍ය පරිගණකයේ ඇති තොරාගත් ස්ථානයක ඇති(C:\xampp\htdocs\) අප විසින් සාදන ජාල ගොනු ,දුර ස්ථානයක ඉන්න අයෙකුට පෙන්නිම සදහා උදව් කිරිමයි.

* හැබැයි මතක තියාගන්න skype වැඩසටහන මේ කාර්‍යය සදහා අපි භාවිතා කරන සම්මත තොටුපල වන 80 තොටුපොල(port 80) එයාගේ කාර්‍යයන් සදහා භාවිතා කරන්න සම්මතයෙන් එනවා.ඒකට skype වල tools>options ගිහිල්ලා එකේ Advanced>Connection වල use port 80 and 443 as alternatives for incoming connections කියන එකේ හරි ලකුණ අයින් කරන්න.

Mysql එකත් ඉස්සෙල්ලා එක වගේ ආරම්භ කරන්න පුළුවන් .මේක පාවිච්චි කරන්නේ දත්ත ගබඩා කරලා නැවත බාවිත කරන්න.ඒක හරියට MS Access වගේ වැඩසටහනක්.

ඊලඟට තියෙන්නේ FileZilla ,මේකේන තමයි අපි තොරලා දුන් ස්ථානයක ඇති ගොනු ලබා දිම පාලනයක කරන්නේ.ඒ කියන්නේ IDM වගේ එකකින් අපි ගොනුවක් තොරලා බාගන්න දුන්නම ,ඒකට අදාල විධානයන් ගන්නේ මේ වැඩසටහන හරහා.

Mercury කියන්නේ gmail වගේ අපේ සේව්‍ය පරිගණකයටත් විද්‍යුත් ලිපි සදහා භාවිතා කරන වැඩසටහනක්.

අන්තර්ජාල සම්බන්ධ තාවය ලබා ගන්නේ උළුපුව(router) හරහා නම් http://portforward.com/
හි සහාය පතන්නත් වේවි.

මම මේකේ හදන විදිහ පියවරෙන් පියවර පැහැදිලි කලේ නම් නැහැ. මම හදාගන්න විදිහ ගැන පොඩි පොඩි ඔත්තු ටිකක් තමයි දුන්නේ.මේ ඔත්තු පස්සේ ගියොත් නම් ඔයාටම කියලා සේව්‍ය පරිගණකයක් හදා ගන්න පුළුවන් වේවි.මේ ගැන මොනවා හරි තව දැනගන්න ඕනි නම් අහන්න හොදේ.

ස්තූතියි.